mercoledì 30 settembre 2015

පාවාදීමට එරෙහි රට ඉල්ලන මහ පොලොවේ විපක්‍ෂය බිහි කෙරේ.. හවුල් ආණ්ඩුව දෙදරන අභියෝගයක් කෙරේ..


පාවාදීමට එරෙහි රට ඉල්ලන මහ පොලොවේ විපක්‍ෂය බිහි කෙරේ.. හවුල් ආණ්ඩුව දෙදරන අභියෝගයක් කෙරේ..


ඉතිහාසයේ දැවැන්තම පාවාදීම සිදු කරමින් එය බොරු දහසකින් සැගවීමට මේ ආණ්ඩුව කටයුතු කරනවා..
ඇමෙරිකා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාවක් රැගෙනවිත් මේ රට අද මහා පාවාදීමකට සටන් කරන වත්මන් ආණ්ඩුව එම පාවාදීම බොරු දහසකින් සගවා තැබීමට කටයුතු කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
‘‘ඇමෙරිකා එක්සත් ජනපදයත් ශ‍්‍රී ලංකා රජයත් එකට අත්වැල් බැඳගෙන ඉදිරිපත් කරන හවුල් යෝජනාව පිළිබඳ ප‍්‍රතිවිරුද්ධ මත ජනමාධ්‍යයෙන් ප‍්‍රසිද්ධියට පත්වීම වළක්වන්න අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ දබරඇගිල්ල එසවී තිබෙන මොහොතකයි විපක්‍ෂයේ පක්‍ෂ 08ක් ලෙස එකතු වී අපි මෙම මාධ්‍ය හමුව පවත්වන්නේ. ජනමාධ්‍යවලට මෙසේ අග‍්‍රාමාත්‍යවරයා සිය දබරඇගිල්ල ඔසවා ඇත්තේ මෙම යෝජනාව පිළිබඳව සැබෑ තොරතුරු ජනතාව අතරට ගියොත් ඇති වන තත්ත්වය කාටත් වඩා හොඳින් ඔහු දන්නා නිසයි. අපි මේ රටේ ජනමාධ්‍යවේදීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා, ‘රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ දබරඇගිල්ලට යටත් නොවී මේ රටේ පොදු ජනතාවට මේ වැදගත්ම ජාතික ප‍්‍රශ්නය පිළිබඳ හැම පාර්ශ්වයකටම අදහස් දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කර දෙන්න’ කියලා.
රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පෙන්වන්න හදනවා ‘දෙමුහුන් අධිකරණයක් පිහිටුවන්නේ නැහැ’ කියලා. සමහර කාටුන් ශිල්පියොත් ඒ ලණුව කාලා තියෙන බවයි පෙනෙන්නේ. හොඳින් අධ්‍යයනය කරලා බැලූවොත් පෙනේවි ‘දෙමුහුන්’ කියන වචනය නැති වුණාට ‘පොදු රාජ්‍ය මණ්ඩලීය සහ වෙනත් රටවල විනිසුරුවරුන්, අභිචෝදකයන්, නීතිඥවරුන් හා පරීක්‍ෂකයන් ඇතුළත් අධිකරණ ව්‍යුහයක් තමයි මේ රැගෙන එන්නේ’ කියලා. මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවේ ‘දෙමුහුන් අධිකරණය’ කියන වචනය තිබුණා. ඇමෙරිකා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාවේ ‘දෙමුහුන් අධිකරණය’ කියන වචනය නැති වුණාට එමගින් ප‍්‍රායෝගිකව ස්ථාපිත කරන්නේ ‘දෙමුහුන් අධිකරණයක්’. එහෙම නොවෙයි කියලා ඔප්පු කරන්න කියලා අපි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට අභියෝග කරනවා.
තම රටේ තිබුණු ත‍්‍රස්තවාදය පැරදවීමට කටයුතු කරපු නීත්‍යනුකූල හමුදාවට එරෙහිව, විදේශ රටක උවමනාව අනුව නීති හදලා අධිකරණයක් පිහිටුවලා නඩු අහන්නේ ලෝකයේ කවර රටකද? අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු විමර්ශනය කළ මැක්ස්වෙල් පරණගම වාර්තාව පිටු 500 ගණනකින් සමන්විතයි. එහි පැහැදිලිව සඳහන් වෙනවා, ‘කිසිඳු යුද අපරාධයක් සිදුව නැහැ. යම් යම් සිදුවීම් සිදුව තිබෙනවා ඒවා පිළිබඳව පරීක්‍ෂණ කළ යුතුයි’ කියලා. ජාත්‍යන්තර උපදේශකයන්ගේ උපදෙස් අනුව යමින් සකස් කළ එවැනි කොමිෂන් වාර්තාවක් අපට තිබෙනවා. මේ බොරු චෝදනාවලට පිළිතුරු දීමට එය පලිහක් ලෙස පාවිච්චි කිරීමට හැකියි. නමුත් ඒ කිසිවක් උපයෝගී කොට නොගෙන තමන්ට ජනවාරි 08 වැනිදා බලයට එන්නට පාර කපලා දුන්නු හාම්පුතුන්ට දෙන තෑග්ග හැටියට, අපේ රණවිරුවන් බිල්ලට දෙන න්‍යාය පත‍්‍රයක් අරඹා තිබෙනවා.
මේ රටේ ජීවත් වන කිසිවකුටත් මේ තත්ත්වය හමුවේ නිහඩව සිටීමට බැහැ. මේ රටේ ජනතාවට සාමකාමීව ජීවත්වීමේ ඉඩකඩ නිර්මාණය කරදීමට එහි නීත්‍යනුකූල හමුදාව දියත් කළ මෙහෙයුම මේ විදිහට අනෙක් පැත්තට බිලි දෙන්න ගියොත් අනාගතයේදී ඇති වන කිසිම තර්ජනයකදී මේ රටේ කිසිම දරුවකු නීත්‍යනුකූල හමුදාවට බැඳෙන්නෙත් නැහැ. ලබා දෙන අණ පිළි පදින්නෙත් නැහැ. ඒ තත්ත්වයට මේ රට අසරණ කරන්න දෙන්න එපා!

‘ඇමෙරිකා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාව ගෙනල්ලා මහින්ද – ගෝඨාභය ඇතුළු රණවිරුවන් බේරා ගන්නවා’ කියලා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියනවා. නමුත් මේ යෝජනාව අනුව අධිකරණ ක‍්‍රියාවලියට ප‍්‍රබලතම සාක්‍ෂි සටහන ලෙස යොදාගන්නා මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවෙහි මේජර් ජනරාල්වරුන් ඇතුළු හමුදා ප‍්‍රධානීන් 22කගේ නම් ඇතුළත්ව තිබෙනවා. ‘සමූහ වශයෙන් මිනිසුන් මරා දැම්මා’ කියන චෝදනාව එල්ල කොට තිබෙනවා. සිවිල් පුද්ගලයන් රැස් වී සිටි තැන්වලට, රෝහල්වලට බර අවිවලින් පහර දුන්නා කියන චෝදනාව එල්ල කොට තිබෙනවා. එය යුද අපරාධයක් බවත් ඒ පිළිබඳව වැඩිදුරටත් සෙවිය යුතු බවත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවෙහි සඳහන්.

එහෙම වාර්තාවක් සාක්‍ෂි සටහනක් ලෙස තබාගෙන මේ නඩු අහන්න හදන්නේ රණවිරුවන් නලවන්නද? මෙහෙම බොරු කියන්නේ ඇයි? අඩුම තරමින් මේ බොරු රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ නෝනාවත් පිළිගනීවිද? මහා පාවාදීමකට රට යටත් කරනවා පමණක් නොවෙයි, මේ පාවාදීම බොරු දහසකින් සගවන්න හදනවා. මෙතැන පැහැදිලිව තිබෙන්නේ මේ රටේ ආරක්‍ෂක හමුදාව බිලි ගැනීමේ මෙහෙයුමක්.
‘මේක රට දුර්වල කිරීමේ අධිවේගී මාර්ගයක්’

අනෙක් අතට මෙහෙම ගියොත් අපේ රටේ ස්වෛරීභාවයට මොකද වෙන්නේ? යුද්ධය තිබෙන කාලයේ ඒ ගැටුම පාවිච්චි කරලා විදේශ රටවල් අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට අත ගැහුවා. ඒ ගැටුම අවසන් වුණාට පස්සේ ඒ ගැටුම නිරාකරණය කරපු ආකාරයේ ගැටළුවක් තියෙනවා කියමින් යළි මේ විදේශ රටවල් අපේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට අත ගහන එක නොවෙයිද මේ වෙන්නේ? මේක මේ රටේ අධිකරණ ක‍්‍රියාවලියකට අවතීර්ණ වීමක් නොවෙයි. ඔවුන්ට ඕනෑ විදිහට අත පෙවිය හැකි ආකාරයට මේ රට දුර්වල කිරීමේ ‘අධිවේගී මාර්ගයක්’ විවෘත කරවා ගැනීමක්. මේ ක‍්‍රියාවලිය දැන හෝ නොදැන මේ රටේ යම් කෙනෙකු අනුමත කරනවා නම් අනාගතයේදී යම් දිනයක ඔහුට, තමන්ගේ හෘදසාක්‍ෂිය ඉදිරියේ තමන් වැරදිකරුවකු බව කියාපාන බරපතළම සිදුවීම මෙය වේවි.

මේ අය කියනවානේ ‘මහින්ද – ගෝඨාභය යුද අපරාධ චෝදනාවලින් බේරා ගත්තා’ කියලා. නමුත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය සතියේ ඉරිදා දිවයින සංග‍්‍රහයට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ මෙසේ සඳහන් වෙනවා. ‘දැන් මේ පරීක්‍ෂණවලදී විනිශ්චයකාරවරුන් විසින් යුද සමයේ සිටි හමුදා නිලධාරීන් වගේ ඉහළ අය ගෙන්වලා ප‍්‍රශ්න කරයිද?’ කියන ප‍්‍රශ්නයට මංගල සමරවීර මහතා මෙසේ පිළිතුරු දෙනවා. ‘ඇත්ත වශයෙන්ම ඒ පරීක්‍ෂණ පටන් ගත්තායින් පස්සේ, පරීක්‍ෂණ පටන් ගන්නා වූ යාන්ත‍්‍රණය සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් නැති වුණත් ඒ සිද්ධීන්වලට සම්බන්ධව අවංකවම විධිමත් පරීෂණ කරන්න සිද්ධ වෙනවා. එතැනදී මේ වාර්තාවෙන් කියැවෙනවා, වඩාත් වැදගත් වන්නේ උදාහරණයක් හැටියට තුවක්කුව පාවිච්චි කරපු හමුදාවේ සොල්දාදුවාට වඩා ඒකට නියෝග දීපු කට්ටිය ගැනයි සොයන්න වෙන්නේ. විනයානුකූල හමුදාවක අපි දන්නවා ඒ අය ඉහළින් නියෝගයක් නැතිව තමන්ගේ තෘප්තියට හෝ තමන්ගේ වාසියට කවදාවත් මේවා කරන්නේ නැහැ’ කියලා.

දැන් බලන්න, චෝදනාවක් තිබෙනවා, ‘රෝහල්වලට බර අවිවලින් පහර දුන්නා’ කියලා. රෝහල්වල සිට බරඅවි ස්ථානගත කර කොටි ත‍්‍රස්තවාදීන් හමුදාවට ප‍්‍රහාර එල්ල කළ එක ගැන මේ වාර්තාවෙන් මොකුත් කියන්නේ නැහැ. ඒක නොකියා රජයේ හමුදා රෝහල්වලට පහර දුන්නා කියනවා. මෙවැනි චෝදනාවක් පිළිබඳව ප‍්‍රශ්න කළොත් එය සාමාන්‍ය සෙබලාගේ සිට ඔහුට අණ දුන් ඉහළ නිලධාරියා දක්වා එනවා. අවසානයේදී ආරක්‍ෂක ලේකම්වරයා, සේනාධිනායකයා දක්වා මේ ප‍්‍රශ්න කිරීම සිදු කෙරෙනවා. මේ විදිහට බොරු කියලා තමන් කරන අපරාධය බොරුවලින් වහන්න එපා.

‘ගැටුම් බහුල විනාශකාරී අනාගතයක්’

ඉන්දු – ලංකා ගිවිසුමෙන් මේ රටේ ස්වෛරීභාවයට සිදු වූ හානියට වඩා සියගුණයක හානියක් මේ විශේෂ අධිකරණය පිහිටුවීම මගින් සිදු වෙනවා. මෙමගින් මේ රටේ නීත්‍යනුකූල හමුදාව බිල්ලට දීම, රටේ ස්වෛරීභාවයට හානි සිදු කිරීම පමණක් නොවයි මේ රට ගැටුම් බහුල විනාශකාරී අනාගතයකට ඇදගෙන යාමක් සිදු වෙනවා. තවත් එක් සිරියාවක, ලිබියාවක, ඉරාකයක තත්ත්වයට මේ රට ඇදගෙන යාම මෙමගින් සිදු වෙනවා. එක් ත‍්‍රස්ත කල්ලි කිහිපයක ග‍්‍රහණයට මේ රට නතු වෙනවා.

 රටට ආදරය කරන හැම දෙනාගෙන්ම අපි ඉල්ලනවා, ‘ඔබ ඡන්දය දුන්නේ කවර පක්‍ෂයට වුවත් ඔබ ඡන්දය දුන්නු ඒ පක්‍ෂයේ මන්ත‍්‍රීවරයාට මේ විශේෂ අධිකරණය පිහිටුවීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන විට එකට පක්‍ෂව අත ඔසවන්න එපා! කියන බලපෑම කරන්න’ කියලා. ඒක තමයි මේ පාවාදීම වළක්වන්න තියෙන මග.
අපි ආණ්ඩුවට අභියෝග කරනවා ‘මේ ජාතික වැදගත්කමින් යුත් කාරණය ජනමත විචාරණයකට ලක් කරන්න’ කියලා. ‘ඇමෙරිකාවයි – ලංකාවයි එකතු වුණා. දැන් ඉතිං ප‍්‍රශ්නය විසඳුණා’ කියලා. බොරු කියන්න එපා! ‘මේ විශේෂ අධිකරණය පිහිටුවනවාද, නැද්ද?’ කියලා ජනතාවට තීරණය කරන්න ඉඩ දෙන්න කියලා අපි ආණ්ඩුවට බලකර කියා සිටිනවා. එහෙම නැතිව ඇමති කටුවලට තමන්ගේ හෘදසාක්‍ෂිය පාවාදුන්නු මහජන නියෝජිතයන්ගේ අත් ඔසවා ගෙන මේ අපරාධය සිදු කරන්න එපා!’’

මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා

‘‘ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් අද ඇමෙරිකා එක්සත් ජනපදය සමග අත්වැල් බැඳගෙන ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින්ම ඉදිරිපත් කරනවා. මෙය බරපතළ පාවාදීමක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ විපතින් රට බේරා ගැනීමට අපි ඒකාබද්ධ විපක්‍ෂය ලෙස සූදානම් බව ජනතාවට කියන්නයි මේ මාධ්‍ය හමුව කැඳවූයේ. මීට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ 08ක නියෝජිතයන් එක්ව සිටිනවා. මේ මහා පාවාදීමට එරෙහිව සටන් වැදීමට අප සමග අත්වැල් බැඳ ගන්නා ලෙස රටට ආදරය කරන සියලූ ජනකොටස් වෙතින් ඉල්ලා සිටිනවා.’’

ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා

‘‘1815 උඩරට ගිවිසුමෙන් පසු මෙවැනි පාවාදීමේ ක‍්‍රියාවලියක් අප රටට පැමිණ නැහැ. 1815දී උඩරට ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී උරැටියන්ගේ අයිතිවාසිකම් රැකෙන වගන්තිත් ඊට එකතුකර තිබුණා. මෙම ක‍්‍රියාවලිය ඊටත් වඩා බියකරු එකක්. අද ඇමෙරිකා එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාවට ආදරය දක්වන්න පටන් අරන්. ඒක ‘සතෙක් ගොදුරකට දක්වන ආදරයට සමානයි’’
මෙම මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විපක්‍ෂ කණ්ඩායම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල, ලංකා සමසමාජ පක්‍ෂය වෙනුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය වෙනුවෙන් රාජා කොල්ලූරේ, දේශවිමුක්ති ජනතා පක්‍ෂය වෙනුවෙන් එහි නායක පොඩි අප්පුහාමි යන මහත්වරුද අදහක් දැක්වූහ.



අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ.



තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...