කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ගොවීන්ට හා මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් විය.
නීතිඥ එරන්ද වැලිඅංගේ, නීතිඥ තාරක නානායක්කාර සහ කෝදාගොඩ ගොවි සංවිධානයේ ලේකම් තිලක් අමරදිවාකර යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නීතිපති ඇතුළු දස දෙනෙකු නම්කර ඇති බව වාර්තා වෙයි.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෙරට ජනගහනයෙන් සියයට 28ක් සෘජුවම කෘෂි කර්මාන්තයෙන් යැපෙන අතර තවත් සියයට 42ක් වක්‍රව ඉන් යැපෙන බවත් ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරටට රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තය බරපතළ කඩාවැටීමට ලක්වූ බවද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.
රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගනු ලැබුවේ නිසි සැලැස්මකින් තොරව හා විශේෂඥ උපදෙස් සහ අධ්‍යයනයන්ගෙන් තොරව බවට ඔවුන් චෝදනා කරයි.
විශේෂඥ උපදෙස් ලබාගැනීමකින් තොරව රසායනිකව පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ අත්තනෝමතික තීරණය හේතුවෙන් අස්වැන්න බරපතළ ලෙස අඩුවී මෙරට කෘෂි කර්මාන්තයට මෙන්ම ඉන් යැපෙන ගොවීන්ගේ ජීවනෝපාය බරපතළ කඩාවැටීමකට ලක්වූ බවද ඔවුන් පෙන්වා දී තිබේ.
ඉකුත් අප්‍රේල් මස 18 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් සිදුකරමින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ගත් පියවර තමා අතින් සිදුවූ අත්වැරැද්දක් වශයෙන් පැවසූ බවද පෙත්සමේ සඳහන් කොට තිබුණි.
රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ගොවීන්ට මෙන්ම මෙරට කෘෂිකර්මාන්තයට බරපතළ හානියක් සිදුවූ බවත් ඒ තුළින් ගොවීන් ඇතුළු මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දු කොට ඒ වෙනුවෙන් වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.